
තාරකා ජීවවිද්‍යාව හැදින්වීම
AUTHOR | මිනුල ගෙත්මින්
2025-05-09
තාරකා ජීව විද්‍යාව ලෙස සරලව හදුන්වන්නේ පෘථිවිය මත හෝ ඇතැම් විට දී පෘථිවියෙන් පිටත ග්‍රහ වස්තු මත ජීවයේ සුලමුල පිළිබදව අධ්‍යනය කිරීමයි. ඒ යටතේ ජිවයේ උපත, සම්භවය සහ විවිධ පරිසර තත්වයන් යටතේ ජීවීන් සතු දිවි රැක ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලේ. මෙය ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව යන සියලු විද්‍යාවන්ගෙන් සැදුම්ලත් ආකර්ෂණීය විෂයක් වන අතර මානව වර්ගයා සතුව පුරාණ කාලයේ පටන් පැවති ගැටලුවකට පිළිතුරු සැපයීමට උත්සාහ දරයි. එනම් පෘථිවිවාසීන් වන අප විශ්වය තුළ තනි වී ඇතිද? යන පැනයයි.
පෘථිවියෙන් පරිභාහිර ජීවීන් පිළිබඳ අධ්‍යනයන් සිදු කිරීමට පෙරාතුව පෘථිවිය තුලම පවතින අන්ත පරිසර තත්වයන් යටතේ ඇතිවී ඇති ජීවය පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට විද්‍යාඥයන් උත්සුක වී ඇත. ගැඹුරු සාගර පතුල, වායුගෝලයේ ඉහළ සීමාව, ගිනිකඳු ආවාට හා පොලොව අභ්‍යන්තරය ආදී ස්ථාන වල දැනටත් යම් ආකාරයේ ජීවීන් ජීවත් වන බැවින් ඔවුන් ගැන අධ්‍යනය කිරීම පෘථිවියෙන් පරිභාහිර වෙනත් ස්ථානයක යම් ජීවයක් පවතීනම් ඒ පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා ඉවහල් වනු ඇත.
කලක් අප කිසිදු ආකාරයක ජීවයක් පැවතීමට නොහැකියැයි සැලකූ ස්ථාන
වල පවා, උදාහරණයක් වශයෙන් ඇන්ටාක්ටිකා අයිස් කාන්තාරය මත පවා ජීවය හමුව ඇත. ඒ හේතුවෙන් විශ්වයේ ඇති අන්ත පරිසර තත්වයන් යටතේ වුවද සම්භවය වූ ජීවයක් සොයාගැනීමේ අනවරත උත්සාහයක තාරකා ජීව විද්‍යාඥයෝ නිරතව සිටිති.
ඔවුන් විශ්වාස කරන අන්දමට ජීවය ඇති වීමට බලපාන සාධක, උදාහරණ ලෙස ජලය, ශක්තිය, කාබනික පරමාණු වෙනත් ග්‍රහ වස්තු මතද පවතින අතර අප සෞරග්‍රහ මණ්ඩලය තුළ එසේ ජීවයේ සාධක පවතින බවට සැක කරන ස්ථාන ලෙස අඟහරු ග්‍රහයා, බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Europa, සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Enceladus හදුන්වා දිය හැකිය. මෙම චන්ද්‍රයන් සතුව ඉතා කුඩා ජීවයක් හෝ ඇති වීමේ විභවයක් සහිත භූගත සාගර ඇත.
තාරකා ජීව විද්‍යාව යනු පෘථිවියෙන් පරිභාහිර ජීවයක් සොයා ගැනීමට උත්සාහ කිරීම පමණක් නොවේ. එය අපට පෘථිවිය මත ජීවය සම්භවය වූ අන්දම පිළිබඳවද අවබෝධයක් සපයයි. පෘථිවිය මත ජීවයේ මුල් කාලීන ස්වරූපයන් අධ්‍යනය කිරීමෙන් නිවැරදි තත්වයන් යටතේ ජීවය ඇති විය හැකි ආකාරය පිළිබඳ විවිධ න්‍යායන් ගොඩ නැගීමට විද්‍යාඥයන් හට හැකියාව ලැබී ඇත.අප තවමත් පෘථිවියට පරිභාහිර ජීවයක් පිළිබඳව පැහැදිලි සාක්ෂි සොයාගෙන නැතත් පිටසක්වල ජීවයක් සොයාගැනීමේ ප්‍රයන්තයන් ලොව පුරා අවධානය ලක්ව ඇත. නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම තාරකා ජීව විද්‍යාඥයෝ පිටසක්වල ජීවයක් සොයාගැනීම සදහා නිරන්තර උත්සාහයක යෙදී සිටිති.
තෙරක් නොපෙනෙන විශ්වය තුල මිනිසාට අමතරව ඉතා ප්‍රාථමික මට්ටමේ ජීවයක් හෝ පැවතීමේ සම්භාවිතාවය ශුන්‍යක් නොවන බව ස්ථිරය. එමනිසා අපගේ උත්සාහයන් සඵල වන දිනය වැඩි ඈතක නොවනු ඇත.