ජීවය සදහා සුදුසු ග්‍රහලෝක

AUTHOR | මිනුල ගෙත්මින්

2025-05-15

යම් ග්‍රහලොවක් ජීවත් වීම සඳහා සුදුසුකම් ලැබීමට හෝ ජීවයක් ඇතිවීම සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු සාධක විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා එකින් එක විමසා බලමු.

1. ජීවය සදහා අවශ්‍ය මූලික සාධකය:- ජලය

ජලය ජීවය සදහා අත්‍යවශ්‍ය මූලිකම සාධකයයි. ජලය බොහෝ  රසායනික ප්‍රතික්‍රියාවන් සඳහා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම මීට හේතුව වේ. පෘථිවිය මත ජලය සාගර තුල හා මිරිදිය මූලාශ්‍ර වල මෙන්ම භූගත ජල මූලාශ්‍ර තුළ ද අන්තර්ගතව ඇත. ජලය ද්‍රවමය වශයෙන් පැවතීමට නම් ග්‍රහලෝකයේ තාපය සහ පීඩනය යන සාධක දෙකම සුදුසු පරාසයක පැවතීමට අවශ්‍ය වේ. එවැනි ග්‍රහ වස්තු තුල ජලය පැවතීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත. උදාහරණයක් ලෙස, බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙකු වන යුරෝපා තුළ  භූගත ජල සාගර ඇති බව වර්තමානයේ සොයාගෙන ඇත.

 

2.  ජීවයේ කලාපය:- "ගෝල්ඩිලොක්ස්" කලාපය

ග්‍රහලොවක් සූර්යයාගේ සිට කොපමණ දුරින් පවතීද යන සාධකය මතද එම ග්‍රහයා ජීවයට සුදුසු ද? නුසුදුසු ද? යන්න තීරණය වේ. සෑම සෞරග්‍රහ මණ්ඩලයකම ජීවය සඳහා සුදුසු කලාපයක් පවතී. මෙය ගෝල්ඩිලොක්ස් කලාපය ලෙසද හඳුන්වයි. ග්‍රහලෝකයක් තාරකාවක වටා පරිභ්‍රමණය වීමේදී, එහි මතුපිට ද්‍රව ජලය පැවතීමට ඉහළ සම්භාවිතාවයක් ඇතිවිය හැකි තාප පරාසයක් පවතින කලාපය ගෝල්ඩිලොක්ස් කලාපයයි. පෘථිවිය සූර්යයාගේ මෙම කලාපය තුළ පිහිටා ඇති බැවින් ජීවිතය සඳහා සුදුසු වී ඇත.

මෙම කලාපය තාරකාවේ සිට කොපමණ දුරින් පවතීද යන්න තාරකාවේ විශාලත්වය සහ දීප්තිය මත රඳා පවතී. විශාල, උණුසුම් තාරකා සඳහා මෙම කලාපය තාරකාවට ඉතා දුරින් පවතින අතර,  කුඩා හා ශීත තාරකා සඳහා එය තාරකාවට සාපේක්ෂව ආසන්නව පවතී.

 

3.  ජීවය සඳහා සුදුසු උෂ්ණත්ව පරාසය

ජීවය ඇතිවීම සඳහා, ග්‍රහලෝකයක උෂ්ණත්වය ස්ථාවරව පැවතීම අත්‍යවශ්‍යයය. අධික උෂ්ණත්ව වෙනස්වීම් ජීවීන්ගේ වර්ධනයට හානි පැමිණවීම මීට හේතුවයි. පෘථිවියේ උෂ්ණත්වය වෙනත් ග්‍රහලෝක වලට සාපේක්ෂව  ස්ථාවරව පවතින අතර ඊට හේතු කාරණා ලෙස  පෘථිවි වායුගෝලය තුළ ඇති  හරිතාගාර වායූන්ගේ ක්‍රියාකාරීත්වය දැක්විය හැකිය.
හරිතාගාර වායු මගින් ඇති කරන හරිතාගාර ආචරණය හේතුවෙන් පෘථිවිය මත තාප සමතුලිතතාවයක් ඇති වී තිබේ. කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් වැනි හරිතාගාර වායු සූර්ය තාප විකිරණ වලට පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙන අතරම පෘථිවි පෘෂ්ඨයේ පවතින තාපයට පිට වීමටද ඉඩ නොදෙමින් පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනු ලබයි.

නමුත් වායුගෝලයක් සතුව හරිතාගාර වායුද පැවතිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට වන අතර හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි දේශගුණික විපර්යාසයන් ඇති විය හැකිය.
උදාහරණයක් ලෙස සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ 96.5% ක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වන අතර ඒ හේතුවෙන් එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 465 ක් තරම් ඉහළ අගයක් ගනී. එම නිසා සිකුරු ග්‍රහයා ජීවය සදහා නුසුදුසු තත්වයට පත්ව ඇත.

 

4. ආරක්ෂිත වායුගෝලය

වායුගෝලයක් පැවතීම ග්‍රහලෝකයක ජීවය පැවතීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. එය ජීවීන්ට අවශ්‍ය වායූන් සැපයීම, තාප සමතුලිතතාවයක් ඇති කිරීම හා සූර්ය විකිරණයෙන් ආරක්ෂාව ලබා දීම වැනි කෘත්‍යයන් රාශියක් ඉටු කරයි. පෘථිවි වායුගෝලයේ වැඩි ප්‍රතීශතයක් අඩංගු වන්නේ  නයිට්‍රජන් හා ඔක්සිජන් යන වායූන්ය. වායුගෝලයේ ඉහළ ස්ථර වල ඇති ඕසෝන් වායුව අහිතකර සූර්ය විකිරණ වලින් පෘථිවිය ආරක්ෂා කර දෙයි. ස්ථිර වායුගෝලයක් රඳවා තබා ගැනීම සඳහා ග්‍රහලොවක් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් හා ගුරුත්වයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

 

5.  චුම්බක ක්ෂේත්‍රය

පෘථිවිය සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පවතින අතර එය ඇති වී ඇත්තේ පෘථිවි හරයේ චලිතය හේතුවෙනි. මෙය සූර්ය විකිරණ වල ඇති අහිතකර ආරෝපිත අංශු පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙමින් පෘථිවි පෘෂ්ඨය ආරක්ෂා කරයි.
අඟහරු වැනි ග්‍රහයන් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් නොමැති නිසා එහි වායුගෝලය ක්‍රමයෙන් ක්ෂයව ගොස් ඇති අතර ජීවය සදහා නුසුදුසු වී ඇත.

 

6. ශක්ති ප්‍රභවයන්

ජීවත් වීම සඳහා ජීවීන්ට ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය වේ. මේ සඳහා මවු ග්‍රහයලෝකය සතුව ශක්ති මූලාශ්‍රයන් පැවතිය යුතුය. පෘථිවියේ ප්‍රධාන ශක්ති මූලාශ්‍රය සූර්ය ශක්තියයි. ප්‍රභාසංස්ලේෂණය හරහා හරිත ශාක සූර්ය ශක්තිය අවශෝෂණය කර ගබඩා කරගන්නා අතර  පසුව ආහාර දාම ඔස්සේ එම ශක්තිය ජීවීන් වෙත ගලා යයි.
කෙසේ වෙතත් සූර්යාලෝකය නොමැති ස්ථාන වල පවා වර්තමානයේ ජීවය සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස සාගරයේ ගැඹුරු ස්ථාන වල තාප විවරයන් ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වීම පෙන්වා දිය හැකිය.

 

7. භූගෝලීය ක්‍රියාකාරීත්වය හා භූ තැටි චලනය.

ග්‍රහලෝකයක භූගෝලීය ක්‍රියාකාරීත්වය ජීවය සදහා බලපාන තවත් සාධකයකි. පෘථිවි හරය මත භූ තැටි එහා මෙහා චලනය වීම නිසා   කලින් කලට නව භූමි ප්‍රදේශයන් නිර්මාණය වන අතර ඒවා ජීවීන්ට නව වාසස්ථාන සපයා දෙයි.
තවද භූ තැටි චලනය කාබන් චක්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා වැදජත් වන අතර එමගින් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම තීරණය වේ.
මෙය පෘථිවියේ උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා උපකාරී වේ.

 

8. ග්‍රහලොවෙහි සංයුතිය හා සුලබ මූලද්‍රව්‍ය.

ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යන් ලෙස කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්ෆරස් හා සල්ෆර් හදුන්වා දිය හැකිය.

මෙම මූලද්‍රව්‍යතන් ජීවයේ තැනුම් ඒකක නිර්මාණය වීම සදහා අවශ්‍ය වේ.ග්‍රහලොවක් සතුව මෙම මූලද්‍රව්‍යන් පැවතීම ජීවය ඇතිවීමට රුකුල් දෙන්නකි.

 

9. ග්‍රහලොවෙහි විශාලත්වය හා ගුරුත්ව ක්ෂේත්‍රය.

ග්‍රහලෝකයක විශාලත්වය මගින් එහි ගුරුත්ව ක්ෂේත්‍රයෙහි ප්‍රබලත්වය තීරණය කරයි. ග්‍රහලොවක් සතුව ද්‍රව ජලය හා වායුගෝලයක් පැවතීමට නම් සැලකිය යුතු මට්ටමේ ගුරුත්වයක් තිබිය යුතුය. කෙසේ වෙතත් අතිවිශාල ග්‍රහලොවක අධික පීඩනයක් සහිත වායුගෝලයක් ඇති විය හැකි බැවින් එවැනි ග්‍රහලෝක ජීවය සදහා නුසුදුසු විය හැකිය.

මේ අනුව සාරාංශයක් වශයෙන් ජීවය සදහා ග්‍රහලොවක් සුදුසු වීමට නම් එය ද්‍රව ජලය, සුදුසු උෂ්ණත්ව පරාසය, ආරක්ෂිත වායුගෝලය, ශක්ති මූලාශ්‍ර, භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුදුසු රසායනික සංයුතිය හා සුදුසු විශාලත්වය යන සාධකයන්ගෙන් සමන්විත විය යුතු වේ.

දැනට සොයාගෙන ඇති මෙම සියලු කොන්දේසි සපුරාලන එකම ග්‍රහලෝකය පෘථිවියයි. නමුත් ජීවය සදහා සුදුසු වෙනත් ග්‍රහලෝක  සොයා විද්වත් සමාජය තුළ දැනටමත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. නුදුරු අනාගතයේදී මානව වර්ගයා සතු විශාලතම පැනය, අප විශ්වය තුළ තනිවී ඇත්ද? යන පැනයට පිලිතුරක් ලැබෙනු ඇත. එවිට ජීවය යනු මෙම අති විශාල විශ්වය තුළ හුදෙක් අහඹුවක් පමණක්ද යන්න තීරණය කළ හැකි වනු ඇත.